------
ශ්‍රී ලංකාවේ මෙතෙක් රාජ්‍ය අංශයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද සේවකයින්හට ගෙවන ලද වැඩිම වන්දි මුදල ලංකා පොහොර සංස්ථාවේ හා කොමර්ෂල් පොහොර සංස්ථාවේ සේවකයින්හට ගෙවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
එකම විෂය පථයකට අදාල වන ආයතන ඒකාබද්ධ කිරීම සඳහා ගරු ජනාධිපතිතුමන් ගෙන යන වැඩ පිළිවෙළ යටතේ ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මේ වනවිට ඒකාබද්ධ කර එක් ආයතනයක් බවට පත් කර ඇත. ඒ අනුව එක් සභාපතිවරයෙක් සහ එක් අධ්යක්ෂ මණ්ඩලයක් යටතේ එකම ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වන එම සමාගමේ සේවකයින් 278ක් ඔවුන්ගේ කැමැත්ත පරිදි අනිවාර්ය විශ්‍රාම ගන්වනු ලැබීය.
මෙම අනිවාර්ය විශ්‍රාම යාමට කැමැත්ත පළ කළ සේවකයින්හට ඔවුන්ගේ සේවා කාලය අනුව වන්දී මුදල් පිරිනැමීම ඊයේ දින (18) පෙරවරුවේ කිරිබත්ගොඩ, මාකොල සමින්රෝ ග්‍රෑන්ඩ් ප්ලේස් හෝටලයේ දී සිදු කෙරිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම සේවක පිරිසට වන්දි මුදල් වශයෙන් රුපියල් මිලියන 823ක් ගෙවීමට පියවර ගත් අතර එක් සේවකයෙකුට ඔවුන්ගේ සේවා කාලය අනුව රුපියල් ලක්ෂ 09 සිට රුපියල් ලක්ෂ 90ක් දක්වා වන මුදලක් ලබා දීමට පියවර ගෙන ඇත. මෙතෙක් රාජ්‍ය අංශයේ ආයතනයක් තුළ මෙවැනි විශාල වන්දි මුදලක් කිසිදු අවස්ථාවක ගෙවා නැති බව ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය. මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා. ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා. මෙම සේවක මණ්ඩල අනිවාර්ය විශ්‍රාම ගැන්වුයේ ඒ සේවකයින්ගේ කැමැත්ත මත මිස ඔවුන් මෙම ආයතනවලට අනවශ්‍ය නිසා නොවෙයි. ඒ වගේම ඔබ සියලු දෙනාට සේවා කාලය අනුව විශාල මුදලක් වන්දි වශයෙන් ලබා දීමට ගරු ජනාධිපතිතුමන් එකඟත්වය පළ කළා. එමෙන්ම මෙම වන්දි වශයෙන් ලැබෙන මුදල් ඉදිරි කාලය තුළ කළමනාකරණය කර ගැනීම සම්බන්ධවත් අපි ඔබට පුහුනුවක් ලබා දුන්නා. මේ මුදල් වාහන මිල දී ගැනීමට හෝ නිවාස හදන්න හෝ වැය කරන්න එපා. ඒවා ආදායම් මාර්ගයක් සඳහා යොදවන්න. එවිට ඔබට ඉන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න පුළුවන්. දෛනිකව ආදායම් ඉපයිය හැකි ක්‍රම අපේ කෘෂිකර්මාන්තය තුළ තිබෙනවා. අනිවාර්ය විශ්‍රාම ගැන්වු බොහෝ දෙනෙක් වයසට ගියාම බෙහෙත් ටිකවත් ගැනීමට මුදල් නොමැතිව පසුතැවෙන තත්ත්වයක් එනවා. එමනිසා මේ ලැබෙන මුදල් හොඳින් කළමනාකරණය කර ගැනීම අතිශය වැදගත් වෙනවා. මෙවැනි විශාල මුදලක් ඔබට ලැබෙන්නේ මීට වසරකට පෙර බංකොලොත් යැයි ප්‍රකාශයට පත් කළ රටක බව මම ප්‍රකාශ කරනවා. අපි මේ රට බාර ගන්නකොට මුළු රටම යුද පිටියක් වගේ. ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කළා. ජනාධිපතිවරයා, අගමැතිවරයා පමණක් නොවෙ ආණ්ඩුව වෙනස් කළෙත් මේ ගොවි ජනතාව. එවැනි තත්ත්වයක තිබු රටක වැඩිම වන්දි මුදල අද රාජ්‍ය ආයතනයක සේවක පිරිස් සඳහා ගෙවනවා කියන එක සුලුපටු කාරණයක් නොවේ. ඇමැතිවරයෙක්ගේ වැඩිම පඹයින් පිළිස්සුවේ මේ කෘෂිකර්ම අංශයේ. ඒ නිසා ගොවි ජනතාව කියන්නේ නොසළකා හැරිය යුතු පිරිසක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.