වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට හෙට සිට මඩපොහොර හෙවත් TSP නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා USAID ආයතනයේ දායකත්වයෙන් මෙරටට ආනයනය කරන ලද අතරමෙට්‍රික් ටොන් 36,000ක් වන ත්‍රිත්ව සුපිරි පොහොර හෙවත් TSP පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම අද දින (19) පස්වරුවේ සිදුවිය. මෙම පොහොර තොගය ඊජිප්තුවේ සිට ආනයනය කර තිබුනි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පොහොර තොගය බාර දීම සිදු වූ අතර එම අවස්ථාවට මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය, UNFAO සංවිධානයේ අධ්‍යක්ෂ ආචාර්ය විමලේන්ද්‍ර ශරන්, USAID සංවිධානයේ අධ්‍යක්ෂ Gabriel Gravo, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම අවස්ථාවට සහභාගි වෙමින් ඇමරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මිය අදහස් පළ කළාය. ඇය කියා සිටියේ රටේ සහල් නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා ටොන් 45,000කට අධික මඩ පොහොර හා අවස්ථා කිහිපයක දී යූරියා පොහොර USAID ආයතනය මගින් ලබා දුන් බවයි. වසර 75කට අධික කාලයක් ඇමරිකා එක්සත් ජනපද ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව ඇය පැවසුවාය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ කන්න තුනකට පසුව ගොවි ජනතාව සඳහා පළමුවරට ලැබෙන මෙම මඩපොහොර තොගය නොමිලයේ ම ගොවි ජනතාවට ලබා දීමට රජය පියවර ගෙන ඇති බවයි. විශේෂයෙන් මෙරට වී ගොවිතැන කඩාකප්පල් කර රටේ ආහාර අහේනියක් ඇති කිරීමට ඇතැම් උත්සාහ කළහ. ගොවින් කුඹුරුවලින් බැහැර කර උද්ඝෝෂණ තුළ රඳවාගෙන තබා පටු පරමාර්ථ ඉටු කර ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කළත් ගොවි ජනතාව 2022 යල කන්නය හා මෙවර මහ කන්නය ඉතා හොදින් වී වගා කළ නිසා මෙම වර්ෂය තුළ කිසිදු අයුරකින් සහල් හිඟයක් රට තුළ ඇති නොවෙන අතර ම නැවත සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ද පැන නොනගින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව පළමු මඩපොහොර තොගය හෙට සිට උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත මඩපොහොර මෙට්‍රික් ටොන් 11,537ක් බෙදා හැරීමට ගෙන තිබේ. . මන්නාරමට මෙ. ටො. 1244ක්, වව්නියාවට මෙ. ටො. 821ක්, කිළිනොච්චි සදහා මෙ. ටො. 820ක්, මුලතිව් සදහා මෙ. ටො. 694ක්, යාපනයට මෙ. ටො. 297ක්, මඩකලපුවට මෙ. ටො. 1824ක්, අම්පාරට මෙ. ටො. 4066ක් හා ත්‍රිකුණාමලයට මෙ. ටො. 1746ක් ද වශයෙන් පොහොර මෙට්‍රික් ටොන් 11,537ක් යැවීමට දැනටමත් පියවර ගෙන ඇත. මෙම පොහොර ගොවීන් වෙත නොමිලයේ ලබා දීම හෙට සිට ම (20) දින සිට සිදු කිරීමට නියමිතය. දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මෙම මඩ පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති අතර උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවීන්ට ලබන සඳුදා සිට ම තමන්ට නියමිත මඩ පොහොර ප්‍රමාණයන් ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ලබා ගැනීමට පිළිවන. වගා කටයුතු ආරම්භ වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලට ද ඒ අයුරින්ම පොහොර ලබා ගැනීමේ පහසුකම් සළසා ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී වගා කරන හෙක්ටෙයාර් එකක් සඳහා නිර්දේශ කර ඇති මඩ පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 55කි. මහ කන්නයේ වී වගා කළ සියලු ගොවීන්ට මඩ පොහොර ලබා දීමට කටයුතු සළසා තිබේ. එමෙන්ම 2023 යල කන්නය ද ඉතා සාර්ථක ලෙස වී වගාව සිදු කළ හැකි බවත් ඊට සුදුසු සියලු පසුබිම දැන් සකසා අවසන් බවත් අමාත්‍යවරයා පැවසීය. මෙහිදී ආචාර්ය විමලේන්ද්‍ර ශරන් හා Gabriel Gravo යන මහත්වරු ද අදහස් පළ කළහ.

IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
7
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033

Latest News