යල කන්නයේ වී වගා කරන හයලක්ෂ පනස් දහසක් පමණ වන ගොවිජනතාවට වී වගාව සඳහා අවශ්‍ය වන රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් එක් ගොවියෙකුට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක මුදලක් වවුචරයක් මගින් ලබා දීම අද දින සිට (22) ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මම සහනාධාර පොහොර වවුචර්පත් නිකුත් කිරීම නිල වශයෙන් අද දින ආරම්භ වූ අතර කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ, හා ගොවිජන කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල් . අබේරත්න හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා යන මහත්වරු ද සහභාගි වූහ.

හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ගොවීන්ට ලබා දීමට කටයුතු යොදා ඇති අතර මෙම පොහොර සහනාධාරය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10කි.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය මත මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධව මම ගරු ජනාධිපතිතුමන්ට මගේ කෘතඥතාවය පළ කරනවා. ඒ අනුව වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර යල කන්නයේ වී වගාව සඳහා මෙම වවුචර්පත් ලබා දෙන අතර ඒවා නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා. මෙම වවුචර්වලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර පමණක් මිල දී ගත හැකියි.

එමෙන්ම ගොවින් කැමැතිනම් රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් ද, එමෙන්ම පුද්ගලික අංශය මගින් ද මිල දී ගැනීමට පුළුවන්.

අපේ රටේ සමහර ගොවීන් ඉහළ අස්වැන්නක් ලබාගෙන තිබෙන්නේ රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරත් යෙදීම මගින්. සමහර ගොවීන්ගේ අස්වැන්න අඩුවෙන්න ප්‍රධානම හේතුව බන්ඩි පොහොර නොයෙදීම බව දැන් පරික්ෂණවලින් තහවුරු වී තිබෙනවා. මෙම වවුචර්වලින් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස මම සියලුම ගොවින්ගෙන් ඉල්ලා සිටිනවා.

යුරියා පොහොර මිල දැන් වෙළෙඳපොලේ ටිකක් ඉහළ ගිහින් තිබෙනවා. නමුත් අපි රජය වශයෙන් තවමත් දෙන්නේ යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක් බැගිනුයි. මෙම මාසය අන්තිමට තවත් යුරියා පොහොර නැවක් එනවා. අපි ඒ නැව පැමිණි පසු යුරියා පොහොර මිල තවත් අඩු කරනවා. ඒ නිසා යුරියා මිල අඩු වෙනකම් බලා ගෙන ඉන්නේ නැතිව දැනට යුරියා පොහොර අවශ්‍ය ගොවීන් ඒවා යොදන ලෙස ඉල්ලා සිටිනවා.

ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ තහවුරු කර තිබෙනවා. එක්තරා දේශපාලන පක්ෂයක් පසුගිය මහ කන්නයේත් කුඹුරුවලින් ගොවින් ඈත් කරන්න ලොකු උත්සාහයක් දැරුවා. නමුත් ඔවුන්ට එක කරන්න බැරි වුනා. ඒ නිසා මම කියන්නේ තවමත් ඒ අය ඒ කුමන්ත්‍රණය කරනවා. ඔවුන්ගේ කුමන්ත්‍රණවලට අපේ ගොවි ජනතාව අහු වුනොත් මුළු රටම බඩගින්නේ සිටීමට සිදු වෙනවා. ඒ නිසා බය නැතුව වගා කරන ලෙස මම සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033

Latest News